Saturday, November 24, 2012

බල්ලගෙ පාඩම.




මං සාමාන්‍යයෙන් රැල්ලට යනව අඩුයි. කාලෙන් කාලෙට එන එක එක fashion එහෙම ඉතින් මට වැඩිය එන්නෙ නෑ. ඔය කොන්ඩෙ වටෙන් අඩු කරන ඒව, පිටිපස්සෙන් ඉතුරු කරන ඒව එහෙමත් මට නම් ආවෙ නෑ. මං ඩෙනිමක් ඇන්දත් ඒක චාම් එකක්. ඔය ටී ෂර්ට්, ෂර්ට් වගේ ඒවත් එහෙම තමයි. විසිතුරු කැටයම්, මෝස්තර තියෙන ඇඳුම් මං ගාව ඇත්තෙම නැති ගානයි. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනව. එකක් තමයි මං එහෙම fashion කරන්න ආස නෑ. අනිත් එක තමයි මාසෙන් මාසෙට වෙනස් වෙන විලාසිතා ලෝකෙ මාසෙන් මාසෙට ඇඳුම් ගන්න තරම් ලොකු සල්ලියක් අපේ අම්මයි තාත්තයි හම්බ කරන්නෙත් නෑ.

මගේ වයසෙ ගොඩක් අය මේ වෙනකොට එලියට බහින්නෙ ජැන්ඩියට ඇඳල සපත්තු දෙකක් එහෙමත් දාල තමයි. මගේ සරළ ඇඳුම් පැලඳුම් රටාවෙ අගේ කොච්චරද කියනව නම් මේ ලඟක් වෙනකං මට සපත්තු දෙකක් වත් තිබුනෙ නෑ. ඔන්න ඉතින් චුට්ට චුට්ට මටත් ඔය සපත්තු උණ එන්න පටන් ගත්ත. මට යාලුවෙකුත් කිව්ව සපත්තු දෙකක් දැම්ම නම් ලස්සනයි කියල. ගෑණු ළමයෙක් මෙහෙම කිව්වම ඉතින් සපත්තු නොදා පුළුවන් යැ. මාත් ඉතින් හීන් සැරේ අම්මට අදහසක් ඉදිරිපත් කළා සපත්තු දෙකක් ගන්න. වාසනාවට පලවෙනි යෝජනාවම සම්මතයි. සල්ලි පාස් උනා.

ෂඃ.. දැන් ඉතින් මාත් සපත්තු දෙකක හිමිකරුවෙක්. දවස් දෙකක් තුනක් මං මේක දාගෙන ගමන් බිමන් එහෙමත් ගියා. අර යාලුව කියල තියෙන්නෙ බොරු නෙවෙයි. ඇත්තටම සපත්තු දෙක දැම්මම පොඩි ගතියක් තියෙනව. දන්නවනෙ ඉතින් අලුතින් කොයික ගත්තත් කීප දවසක් යනකං හිතට අමුතු හැඟීමක් තියෙනවනෙ. අලුත් සපත්තු කුට්ටම නිසා මටත් මේ හැඟීම උපරිමේටම දැනිලයි තිබුනෙ. ඕක දාපු දවසට හීන් සැරේ කකුල් දෙක දිහා බලනව හොරෙන්. අප්පේ.... දැක්කත් සනීපයි අලුත් සපත්තු දෙක.

ඔන්න දැන් මගෙ සපත්තු දෙක දවස් හතරක් දාලයි තියෙන්නෙ. පාවිච්චිය හොඳ වෙන්න නම් ඉතින් හොඳ නඩත්තුවකුත් තියෙන්න එපායැ. ඒ උනාට ඉතින් මේ සපත්තු දෙක හෝදන්න හොඳයිද නැද්ද කියලවත් මං දන්නෙ නෑ. පලවෙනි සපත්තු දෙකනෙ. අත්දැකීම් නෑ සපත්තු පාවිච්චිය පිළිබඳව. හීන් සැරේ යාලුවෙක් ගෙන් අහල බැලුව මේව හේදුවට කමක් නැද්ද කියල.

හරි... කමක් නෑ ලු. පැය බාගයක් විතර අරගෙන හොඳට හේදුව අලුත් සපත්තු දෙක. දැන් ඉතින් මේක ගිනි අව්වෙ වේලගන්න ඕනි. ගෙදර තිබුනු හොඳ පුටුවක් ගත්ත එලියට. පොඩ්ඩක් පිහිදැම්ම. නැත්තම් පුටුවෙ තියෙන කුණු ගෑවෙනවනෙ සපත්තු දෙකේ. හොඳට අව්ව වැටෙන තැනකින් පුටුව තියල ඒක උඩින් සපත්තු දෙක තියල මං ගියා මගෙ අනිත් වැඩ වලට.

වෙන වැඩක් කරන්න කියල ගියාට මොකද, සපත්තු දෙක එලියෙ  තියෙනකං මගෙ සිහියත් එලියෙම තමයි. ඉතින් බොහොම අමාරුවෙන් ටික වෙලාවක් එක තැන ඉඳන් වැඩ කරල ටක් ගාල එලියට ගියේ සපත්තු දෙකේ තත්වෙ කොහොමද කියල බලන්න. ලස්සනට වේලුන මගෙ අලුත් සපත්තු දෙක දකින බලාපොරොත්තුවෙන් එලියට ගිය මාව ඒ වෙලාවෙ දැකපු දෙයින් නම් ගල් ගැහිල ගියා.

මගේ අලුත්ම සපත්තු කුට්ටමෙන් එකක් කොහේදෝ ඉඳන් ආපු බලු නට්ටෙක් හප හපා ඉන්නවා.  අපේ බසින් කියනව නම් ඒකා මගෙ සපත්තුව bite එකට අරගෙන. හිතා ගන්න පුලුවන්නේ මට ඒ වෙලාවෙ ඇති වෙච්ච හැඟීම. මට ඒ බල්ලා එක්ක ඇති උනේ පුදුම තරහක්. මං පුලුවන් තරම් වේගෙන් එතනට දුවගෙන ගියා. මං එනවා දැකල බල්ලා අහකට දිව්වත් සපත්තුවේ තැන් දෙකක් විතර ඒකා කාලා. අනේ මගෙ අලුත්ම සපත්තු දෙක.

දැන් ඉතින් ඒක අලුත් සපත්තු දෙක නෙවෙයි, බල්ල කාපු සපත්තු දෙක. එහෙමයි කියල මේක විසි කරන්න පුලුවන් යෑ. කාටද ඔච්චර සල්ලි තියෙන්නෙ. මම ඉතින් මේ දෙක තාමත් දානව. බල්ල කාපු තැන කලිසමට වැහුනම එච්චර ගානකුත් නෑ ඉතින්. හැබයි ඉස්සර තරම් සපත්තු දෙක ගැන අසාවක් නම් දැන් මට නෑ. ඒ වගේම ඉස්සර තරම් දුකකුත් නෑ පලුද්ද ගැන.

මේකෙන් මං දෙයක් ඉගෙන ගත්ත. කිසිම දේකට ගොඩක් ආස වෙන්න හොඳ නෑ. අසාව උනත් ගානකට තිබුනම ඇති. මොකද ආසාව තියෙනකං විතරයි මට සපත්තු දෙක ගැන දුක හිතුනෙ. දැන් ගානක් නෑ නේ. 

ආහ්ඃ තව දෙයක්. මං දැන් සපත්තු වේලන්නෙ වහලෙ උඩ තියල. බල්ලන්ට කන්න බෑ එතකොට.

12 comments:

  1. ඕකට කියන්නෙ අවබෝධය කියල සහෝදරය ;)
    මගෙ ෆෝන් 1 නැති වෙලා ආයෙ හම්බ උනාමත් මට දැනුනෙ ඔහොම දෙයක්.
    වැඩිය ආසාවෙන් පරෙස්සන් කරන්න ගියාම අමතක වෙනව කිසිම දෙයක්
    හැමදාම එකම විදියට තියාගන්න බෑ කියල,
    එතකොට අපිට,දැන් මාත් පොර කියල හිතෙනව;)
    හැබැයි එ පොර ගතිය ඕනි වෙලවක නැතිවෙන්න පුලුවන් කියල තේරුනාම වෙනස් විදියකට දැනෙන්නෙ
    ඊට පස්සෙ අපි ඒව බුද්ධිමත් විදියට පරෙස්සන් කරනව
    හිතුනු දේවල් ඔක්කොම කියපු එක නියමයි ආ..:)
    තවම කෙල නොවුනු අයට තමා මේව වැඩියම වැදගත් :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අලුත් සපත්තු දෙක දැම්ම ම නම් මාත් පොරක් තමයි. :D හැබැයි හොඳ යාලුවො අතරෙ අපි බල්ල කාපු සපත්තු දැම්මත් වෙනසක් නෑ.

      හිතේ කහට නෑ නෙ සහෝදරය. ඉතින් හිතට එන දේ නිදහසේ කියතහැකි. :)

      ඔව්.. ඔව්.. මීට පස්සෙ සපත්තු පාවිච්චි කරන උදවිය වහලෙට නගින ක්‍රමේකුත් හොයා ගන්නව හොඳයි ඕන්....... ;)

      බොහොම ස්තුතියි ආවටත් අදහස් දුන්නටත් :)

      Delete
  2. අයියෝ සපත්තු! :(
    සපත්තු 2ට කෙසේ වෙතත් මේක කාට කාටත් අගේ ඇති පාඩමක්
    මටත් මේ වගේ ඒවා වෙලා තියෙනවා හිසේ කෙස් ගානට :D
    සපත්තු 2 විසි කරන්න නම් එපා අයියෙ
    මෙච්චර කල් හොද....ටම සලකලා පොඩ්ඩක් හිල් උණාම විසි කරන එක හරි නෑ නෙ :)

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම මේව හොඳ පාඩම්. :)

      ඒක ඇත්ත. සපත්තු විතරක් නෙවෙයි. කෝක උනත් කල් යනකොට අමතක කරන එක හොඳ නෑ. විශේෂයෙන් අපිට උදව් කරපු අය සහ දේවල්.

      අදහසට ස්තුතියි නංගි.

      ආහ්ඃ මං මේ කියන්නමයි හිටියෙ. බ්ලොග් එකේ captcha අයින් කරන්න. comment දාන්න කම්මැලි හිතෙනව නැත්තම්. :)

      Delete
    2. එදා අර මගෙන් සපත්තු දෙක සේදුවට කමක් නැද්ද කියල ඇහුවේ ඕක ගැන ද ?.
      එතකොට මචන් උඔ ඉස්කෝලේ යන කාලේ සපත්තු සේදුවෙම නැද්ද ?,

      Delete
    3. අන්න හරි. උඹට මතකයි. :)

      මේ සපත්තු ඒවට වඩා වෙනස් මචං.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. :DDDDDDDD අනේ පව් බලු කුක්කා....ඌ හාමතේද දන්නේ නෑ හිටියේ :DDDDDD සපත්තු දෙක නම් අපරාදෙ හැබැයි :/ :/

    හොද පාඩමක් කියලා දෙන කථාවක්...කියවන්න ගත්තාම දිගටම කියවගෙන යන්න හිතෙන විදිහට ලියලත් තියෙනවා(සරලව කියනවා නම් නිර්මාණශීලි ලෙස කථාව ඉදිරිපත් කරලා තියෙනවා)

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් හැමදාම කියන එක තමයි...,පුළුවන් නම් දිගටම ලියන්න අය්යේ :)))))

    කලින් log වෙලා හිටියේ අක්කගේ එකට. ඒකෙන්ම එහෙමම comment එක දැම්මා.සොරි හොදේ :)

    ReplyDelete
  5. ඌ හාමතේ හිටිය නම් සපත්තුව ගිල දාන්න එපායැ හප කරන්නෙ නැතුව. මේ කරපු වැඩෙන් උගෙ බඩටත් නෑ මගෙ කකුලටත් නෑ. :/

    බොහොම ස්තුතියි නංගි අගය කිරීමට. පුලුවන් විදිහට ලියාගෙන යන්නම්. :)

    අඃ..... ඒක තමයි මේ. මං හිතුව අක්කට වැරදිලා comment එකක් දාල පස්සෙ delete කෙරුවයි කියල

    ReplyDelete
  6. අපූරුයි..

    මුලින් කියපු ඡේද ගණනටත් වඩා අන්තිමට ලියපු වචන ටික නම් වැදුණා සැරටම.. "සපත්තු වේලන්නෙ වහලෙ උඩ තියලා..බල්ලන්ට ගෙනියන්න බෑ එතකොට.."
    (කතන්දරවල වගේ අහක ඉන්න උකුස්සෙකුටවත් සපත්තු 2 ගෙනියන්න හිතෙන එකක් නෑනෙ වහලෙ උඩ තියෙනවා දැකලා?)

    මොකෝ 2න්නෙක්ගෙ සාක්කුවල දාලා තිබුණ දුරබනු 2ක් බස් රථවලදි පිට පිටම අතුරුදන් වුණ හැටි දැකලා මගෙ දුර බනුව වැඩි පරෙස්සමට බෑග් එකේ ඇතුළෙ පොකට්ටුවේ දාලා තියෙද්දිත් කොහෙදෝ හිටපු මනුස්සයෙක්ට ඒකත් ගන්න හිතුණානෙ..

    ReplyDelete
    Replies
    1. වාසනාවට අපේ පැත්තෙ සපත්තු බඩගින්න තියෙන්නෙ බල්ලන්ට විතරයි. :D

      අඃ..... ඔය වගේ දෙයක් මටත් උනා නෙව. විජේරාමෙ ඉන්න කාලෙ මගෙත් phone එක ඉස්සුව. මම නම් බස් එකෙන් බැහපු ගමන්ම අල්ල ගත්ත මිනිහව. ඕක හරි සුලභ ව්‍යාපාරයක් මං දන්න හැටියට. :)

      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. :)

      Delete

ස්තුතියි කියෙව්වට......
හිතට එන දේ කියල යන්න. මේ ඉඩ ඔයාලට..........