Saturday, November 24, 2012

බල්ලගෙ පාඩම.




මං සාමාන්‍යයෙන් රැල්ලට යනව අඩුයි. කාලෙන් කාලෙට එන එක එක fashion එහෙම ඉතින් මට වැඩිය එන්නෙ නෑ. ඔය කොන්ඩෙ වටෙන් අඩු කරන ඒව, පිටිපස්සෙන් ඉතුරු කරන ඒව එහෙමත් මට නම් ආවෙ නෑ. මං ඩෙනිමක් ඇන්දත් ඒක චාම් එකක්. ඔය ටී ෂර්ට්, ෂර්ට් වගේ ඒවත් එහෙම තමයි. විසිතුරු කැටයම්, මෝස්තර තියෙන ඇඳුම් මං ගාව ඇත්තෙම නැති ගානයි. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනව. එකක් තමයි මං එහෙම fashion කරන්න ආස නෑ. අනිත් එක තමයි මාසෙන් මාසෙට වෙනස් වෙන විලාසිතා ලෝකෙ මාසෙන් මාසෙට ඇඳුම් ගන්න තරම් ලොකු සල්ලියක් අපේ අම්මයි තාත්තයි හම්බ කරන්නෙත් නෑ.

මගේ වයසෙ ගොඩක් අය මේ වෙනකොට එලියට බහින්නෙ ජැන්ඩියට ඇඳල සපත්තු දෙකක් එහෙමත් දාල තමයි. මගේ සරළ ඇඳුම් පැලඳුම් රටාවෙ අගේ කොච්චරද කියනව නම් මේ ලඟක් වෙනකං මට සපත්තු දෙකක් වත් තිබුනෙ නෑ. ඔන්න ඉතින් චුට්ට චුට්ට මටත් ඔය සපත්තු උණ එන්න පටන් ගත්ත. මට යාලුවෙකුත් කිව්ව සපත්තු දෙකක් දැම්ම නම් ලස්සනයි කියල. ගෑණු ළමයෙක් මෙහෙම කිව්වම ඉතින් සපත්තු නොදා පුළුවන් යැ. මාත් ඉතින් හීන් සැරේ අම්මට අදහසක් ඉදිරිපත් කළා සපත්තු දෙකක් ගන්න. වාසනාවට පලවෙනි යෝජනාවම සම්මතයි. සල්ලි පාස් උනා.

ෂඃ.. දැන් ඉතින් මාත් සපත්තු දෙකක හිමිකරුවෙක්. දවස් දෙකක් තුනක් මං මේක දාගෙන ගමන් බිමන් එහෙමත් ගියා. අර යාලුව කියල තියෙන්නෙ බොරු නෙවෙයි. ඇත්තටම සපත්තු දෙක දැම්මම පොඩි ගතියක් තියෙනව. දන්නවනෙ ඉතින් අලුතින් කොයික ගත්තත් කීප දවසක් යනකං හිතට අමුතු හැඟීමක් තියෙනවනෙ. අලුත් සපත්තු කුට්ටම නිසා මටත් මේ හැඟීම උපරිමේටම දැනිලයි තිබුනෙ. ඕක දාපු දවසට හීන් සැරේ කකුල් දෙක දිහා බලනව හොරෙන්. අප්පේ.... දැක්කත් සනීපයි අලුත් සපත්තු දෙක.

ඔන්න දැන් මගෙ සපත්තු දෙක දවස් හතරක් දාලයි තියෙන්නෙ. පාවිච්චිය හොඳ වෙන්න නම් ඉතින් හොඳ නඩත්තුවකුත් තියෙන්න එපායැ. ඒ උනාට ඉතින් මේ සපත්තු දෙක හෝදන්න හොඳයිද නැද්ද කියලවත් මං දන්නෙ නෑ. පලවෙනි සපත්තු දෙකනෙ. අත්දැකීම් නෑ සපත්තු පාවිච්චිය පිළිබඳව. හීන් සැරේ යාලුවෙක් ගෙන් අහල බැලුව මේව හේදුවට කමක් නැද්ද කියල.

හරි... කමක් නෑ ලු. පැය බාගයක් විතර අරගෙන හොඳට හේදුව අලුත් සපත්තු දෙක. දැන් ඉතින් මේක ගිනි අව්වෙ වේලගන්න ඕනි. ගෙදර තිබුනු හොඳ පුටුවක් ගත්ත එලියට. පොඩ්ඩක් පිහිදැම්ම. නැත්තම් පුටුවෙ තියෙන කුණු ගෑවෙනවනෙ සපත්තු දෙකේ. හොඳට අව්ව වැටෙන තැනකින් පුටුව තියල ඒක උඩින් සපත්තු දෙක තියල මං ගියා මගෙ අනිත් වැඩ වලට.

වෙන වැඩක් කරන්න කියල ගියාට මොකද, සපත්තු දෙක එලියෙ  තියෙනකං මගෙ සිහියත් එලියෙම තමයි. ඉතින් බොහොම අමාරුවෙන් ටික වෙලාවක් එක තැන ඉඳන් වැඩ කරල ටක් ගාල එලියට ගියේ සපත්තු දෙකේ තත්වෙ කොහොමද කියල බලන්න. ලස්සනට වේලුන මගෙ අලුත් සපත්තු දෙක දකින බලාපොරොත්තුවෙන් එලියට ගිය මාව ඒ වෙලාවෙ දැකපු දෙයින් නම් ගල් ගැහිල ගියා.

මගේ අලුත්ම සපත්තු කුට්ටමෙන් එකක් කොහේදෝ ඉඳන් ආපු බලු නට්ටෙක් හප හපා ඉන්නවා.  අපේ බසින් කියනව නම් ඒකා මගෙ සපත්තුව bite එකට අරගෙන. හිතා ගන්න පුලුවන්නේ මට ඒ වෙලාවෙ ඇති වෙච්ච හැඟීම. මට ඒ බල්ලා එක්ක ඇති උනේ පුදුම තරහක්. මං පුලුවන් තරම් වේගෙන් එතනට දුවගෙන ගියා. මං එනවා දැකල බල්ලා අහකට දිව්වත් සපත්තුවේ තැන් දෙකක් විතර ඒකා කාලා. අනේ මගෙ අලුත්ම සපත්තු දෙක.

දැන් ඉතින් ඒක අලුත් සපත්තු දෙක නෙවෙයි, බල්ල කාපු සපත්තු දෙක. එහෙමයි කියල මේක විසි කරන්න පුලුවන් යෑ. කාටද ඔච්චර සල්ලි තියෙන්නෙ. මම ඉතින් මේ දෙක තාමත් දානව. බල්ල කාපු තැන කලිසමට වැහුනම එච්චර ගානකුත් නෑ ඉතින්. හැබයි ඉස්සර තරම් සපත්තු දෙක ගැන අසාවක් නම් දැන් මට නෑ. ඒ වගේම ඉස්සර තරම් දුකකුත් නෑ පලුද්ද ගැන.

මේකෙන් මං දෙයක් ඉගෙන ගත්ත. කිසිම දේකට ගොඩක් ආස වෙන්න හොඳ නෑ. අසාව උනත් ගානකට තිබුනම ඇති. මොකද ආසාව තියෙනකං විතරයි මට සපත්තු දෙක ගැන දුක හිතුනෙ. දැන් ගානක් නෑ නේ. 

ආහ්ඃ තව දෙයක්. මං දැන් සපත්තු වේලන්නෙ වහලෙ උඩ තියල. බල්ලන්ට කන්න බෑ එතකොට.

Friday, October 5, 2012

සෙනෙහසට මිලක්.


            


තමන්ට මල්ලි කෙනෙක් හිටිය නම් මොකද කරන්නෙ ඌ ගැන හොයල බලනව නේද කවුරුත් කැමති වෙයි ඌ සල්ලිකාරයො එක්ක ඉන්නව නම්. සල්ලි නැති එකා පොඩි මිනිහා. කව්ද කැමති පොඩි මිනිස්සු ආශ්‍රය කරන්න. ඔහොමනෙ දැන් උදවිය හිතන්නෙ. 


දෙවියොත් කැමති ඇති තමන්ගෙ මල්ලි එහෙම ඉන්නව දකින්න. ඒකනෙ සල්ලි ලොකු මිනිස්සු ලඟම තියෙන්නෙ. අපේම කරුමෙට තමයි සල්ලි දෙයියන්ගෙ මල්ලි උනේ. අනේ මගෙ මල්ලි උනා නම් මං යවන්නෙම පොඩි එවුන් ලඟට.


මට මතක් උනා ඉස්කෝලෙ යන කාලෙ බස් එකක යනකොට ඇහිච්ච කතා බහක්. අනුන්ගෙ කතා බහ හොරෙන් අහගෙන හිටිය එහෙම නෙවෙයි. බස් එකේ රියදුරු මහත්තය ශබ්ද නගා කරපු පිලිසඳරක කොටසක්. තනියම යනකොට පාලුයි නේ.


මේ ඉරිදා දවසක්. පහුවදා ඉස්කෝලෙ නිසා මම hostel එකට යනවා. Warden නම් නිගමනය කරල තිබුනෙ තනියම යන්න අපි පොඩි වැඩි කියල. ඒත් ඉතින් අපි කියන දේ අහන හොඳ ළමයි කියල වැරදි නිගමනයකුත් එයා කරල තිබුන. මොකද මම නම් ගියේ තනියම.


ඒක C.T.B. බස් එකක්. පොඩි එකා නිසා මාත් ඉස්සරහින්ම හිටියා. අපි යන පාරෙදි පහු වෙනවා කලුඅග්ගල කියල ගමක්. අන්න එහෙ තමයි අර ප්‍රසිද්ධ ජල ක්‍රීඩා උයන තියෙන්නෙ. Leisure World Water Park එක. පාර අයිනෙ තියෙන නිසා බස් එකේ යනකොට පේනව සැප පහසු වාහන වලින් බැහපු නෝනල මහත්තුරු තමන්ගෙ ලමයි එක්ක සුද්දන්ගෙ බාසාවෙන් මුකුලු කර කර ඇතුලට යන හැටි.


"අපිත් ආසයි ළමයි එක්කගෙන ගිහින් දවසක් විනෝද වෙලා එන්න. ඒත් ඉතින් කන්න බොන්නම මාසෙ පඩිය ඉවරයි නෙ....." ඒක දිහාවට මොහොතකට ඇස් යොමු කරපු රියදුරු මහත්තය ලඟ හිටපු කෙනෙක්ට කිව්ව. මොහොතකට විතරයි. ඒ දිහා බලන් ඉන්නවත් එයාට වෙලාවක් නෑ. ජීවිත රැසක වගකීම අරගෙන එයා තමන්ගෙ මාසෙ පඩිය රැක ගන්න වෙහෙසෙනව.


මේ කතාව අහනකොට මම පොඩි එකෙක්. 8 පන්තියෙ හරි 9 පන්තියෙ හරි වගේ තමයි මතක. එදා මං ඒ කතාව නිකන් අහගෙන හිටිය විතරයි. ඒත් දැන් මට ටිකක් තේරෙනව. හැම තාත්ත කෙනෙක්ම කැමති තමන්ගෙ දරුවො සතුටින් තියන්න. දරුවන්ව ඒ වගෙ තැන් වලට එක්ක යන්න. ඒත් ඒ පිය සෙනෙහස සල්ලි හමුවේ යටපත් වෙලා. ආදරේ තිබුනත් ඒක පෙන්න ගන්න බැරි වෙලා.


කඩේ තියෙන සෙල්ලම් බඩුව දිහා බලගෙන පොඩි එකා කඳුලු හලද්දි කිරිපිටි පැකට් එක දිහා බලාගෙන තමන්ගෙ තාත්ත සුසුම් හෙලන බව ඒ පොඩි එකාට තේරෙන්නෙ නෑ. මං අහල තිබුන කතාවක් තමයි තාත්තල ආදරේ පෙන්නන්නෙ නෑ කියන එක. ඇත්තටම වෙලා තියෙන්නෙ, තාත්තලාට ආදරේ පෙන්නන්න දෙන්නෙ නෑ. සල්ලි ඒක පාලනය කරනව.


සල්ලි නරක නෑ. භාණ්ඩ හුවමාරු ක්‍රමයට වඩා මුදල් ගනු දෙනු ක්‍රමය ගොඩක් හොඳයි. අපි වගේ දියුණු ජාතියකට ඒක ඕනි. ඒත් සතුට, සෙනෙහස, ආදරය, මනුස්සකම වගේ දේවල් නම් සල්ලි වලට යට කරන්න හොඳ නෑ. කවදාවත්ම.................... 

Saturday, September 22, 2012

තල්ලු කරන් පුතුනේ.






කැරකෙන රෝදේ...පුන්චි කරත්තේ...ඉඳගෙන මම ඉන්නේ.................
පදික වේදිකා...පසු කර යන්නට...තල්ලු කරන් පුතුනේ................
තල්ලු කරන් පුතුනේ................


පරිගනකයෙන් ඇහෙන මේ සින්දුවත් එක්ක මම පොඩ්ඩක් අතීතයට ගියා. අපි උසස් පෙල ඉවර කරලා නිකන් ඉන්න බැරුවට ඉංග්‍රීසි පන්තියකට ගිය කාලෙට. දවසක් හවස අපි පන්ති ඉවර වෙලා මොනව හරි කන්න කියල හිතාගෙන ටවුමට යනව. මහ පාර අයිනෙන්. එක පාරටම අපිත් එක්ක ගිය නංගි කෙනෙක් "අන්න ඔයාලට කතා කරනව..." කියල කිව්ව.


මාත් ටක් ගාල බැලුව. අර ආබාධිත අය යන අතින් පදින රෝද තුනේ සයිකලේක යන එක්කෙනෙක් අපිට කතා කරනව. මම නම් හිතුවෙ සල්ලි ඉල්ලන්න කියල. මොනව උනත් කතා කලාම අහක බලාගෙන යන්න බෑනෙ. මායි තව කොල්ලෙකුයි එතනට ගියා. "පොඩි තල්ලුවක් දෙනවද...?" කාරුණික ඉල්ලීමක්. අහක දාන්න බෑ. එතන පාරෙ පොඩි කන්දකුත් තියෙනව. ඉතින් මමයි යාලුවයි මේක තල්ලු කරන්න පටන් ගත්ත.


"බස් එකක් නැවැත්තුවනෙ ඉස්සරහින්... ඉතින් ආපු වේගෙ නැවතුනා.... කන්ද නිසා දැන් යන්න අමරුයි...." අපිත් සද්ද නැතුව තල්ලු කලා කන්ද උඩටම. "හරි... දැන් මට ගිය හැකි....යන්නම්...." එහෙම කියපු ඒ මනුස්සයා යන්න ගියා. 


කව්රු හරි අත දාන්න ඇති. "අතට එන කීය හරි නැති කරගෙන කොහොමද......" බස් එකත් නවතින්න ඇති. ආයිත් සැර දාගෙන යන්න ඇති. සමහර විට කකුල් පණ නැතුව දෑතෙ හයියෙන් ජීවිතේ ගෙනියන මේ මනුස්සයගෙ පුන්චි සයිකලේ බස් එකට පේන්නත් නැතුව ඇති. හොඳ වෙලාවට අපි එතන හිටියා. අනේ අපිත් නොහිටිය නම් ඒ මනුස්සය ගෙදර යන්නෙ කොහොමද......අපිට නොපෙනි මෙහෙම දේවල් කොච්චර වෙනවත් ඇද්ද.... මේ වගේ සිතුවිලි ගොඩක් එක්ක අපි ආයිත් අපෙ ගමන පටන් ගත්තා.


අම්මා මග ඇති...නෙත් අරවාගෙන...තල්ලු කරන් පුතුනේ...............
තල්ලු කරන් පුතුනේ...............


සින්දුවත් ඉවරයි.


Monday, September 17, 2012

ඉතින් අවසරයි.









අපිට හැමදාම ජීවත් වෙන්න බෑනෙ. හැමදේම කරන්නත් බෑ. හැබැයි මේ ඉන්න චුට්ටෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා...." කියලනෙ අර සින්දුවෙත් කියන්නෙ. ඉතින් මාත් අත ගැහුව අලුත් වැඩකට. අලුත් කිව්වෙ මට අලුත් වැඩකට. හිතේ කොනක තිබුන ආසාවක් මුදුන්පත් වෙන්නයි යන්නෙ.

ඒ තමයි මටම කියල බ්ලොග් එකක් හදන එක. ඔන්න වැඩේ හරි. දැන් මම බ්ලොග් හිමිකරුවෙක්. කාලෙක ඉඳන් හිතේ තිබුනු දෙයක් තමයි අනේ මටත් ලියන්න පුලුවන් නම් කියන එක. ඔන්න ඉතින් දැන් බලන්න යන්නෙ පුලුවන්ද කියල තමයි.

මට බ්ලොග් කීපයක links එවල මාව කියවන්න ඇබ්බහි කරපු නංගි කෙනෙක්ට මුලින්ම ස්තුති කරන්න ඕනි. එයා තමයි මුලින්ම කිව්වෙ මටත් බ්ලොග් එකක් පටන් ගන්න කියල. මට බ්ලොග් එකක් ලියන්න ආස වෙන්න බලපාපු බ්ලොග් කීපයකුත් තියෙනව. බ්ලොග් ලෝකයේ ප්‍රවීණයො ලියපුව. එයලටත් ස්තුතිවන්ත වෙනව. මට යාලුවො කීප දෙනෙකුත් කිව්ව බ්ලොග් එකක් ලියන්න කියල. එයාලටත් ස්තුතියි.

කොහේ ගියත් මමයි රජා වගේ තනියම වැඩ කරන්න බෑනෙ. ගරු කලයුත්තන්ට ගරු කරන්න ඕනි. ඉතින් බ්ලොග් ලෝකයේ ප්‍රවීණයිනි. අවසරයි මටත් අත්හදා බලන්නට මාව ම.