Friday, October 5, 2012

සෙනෙහසට මිලක්.


            


තමන්ට මල්ලි කෙනෙක් හිටිය නම් මොකද කරන්නෙ ඌ ගැන හොයල බලනව නේද කවුරුත් කැමති වෙයි ඌ සල්ලිකාරයො එක්ක ඉන්නව නම්. සල්ලි නැති එකා පොඩි මිනිහා. කව්ද කැමති පොඩි මිනිස්සු ආශ්‍රය කරන්න. ඔහොමනෙ දැන් උදවිය හිතන්නෙ. 


දෙවියොත් කැමති ඇති තමන්ගෙ මල්ලි එහෙම ඉන්නව දකින්න. ඒකනෙ සල්ලි ලොකු මිනිස්සු ලඟම තියෙන්නෙ. අපේම කරුමෙට තමයි සල්ලි දෙයියන්ගෙ මල්ලි උනේ. අනේ මගෙ මල්ලි උනා නම් මං යවන්නෙම පොඩි එවුන් ලඟට.


මට මතක් උනා ඉස්කෝලෙ යන කාලෙ බස් එකක යනකොට ඇහිච්ච කතා බහක්. අනුන්ගෙ කතා බහ හොරෙන් අහගෙන හිටිය එහෙම නෙවෙයි. බස් එකේ රියදුරු මහත්තය ශබ්ද නගා කරපු පිලිසඳරක කොටසක්. තනියම යනකොට පාලුයි නේ.


මේ ඉරිදා දවසක්. පහුවදා ඉස්කෝලෙ නිසා මම hostel එකට යනවා. Warden නම් නිගමනය කරල තිබුනෙ තනියම යන්න අපි පොඩි වැඩි කියල. ඒත් ඉතින් අපි කියන දේ අහන හොඳ ළමයි කියල වැරදි නිගමනයකුත් එයා කරල තිබුන. මොකද මම නම් ගියේ තනියම.


ඒක C.T.B. බස් එකක්. පොඩි එකා නිසා මාත් ඉස්සරහින්ම හිටියා. අපි යන පාරෙදි පහු වෙනවා කලුඅග්ගල කියල ගමක්. අන්න එහෙ තමයි අර ප්‍රසිද්ධ ජල ක්‍රීඩා උයන තියෙන්නෙ. Leisure World Water Park එක. පාර අයිනෙ තියෙන නිසා බස් එකේ යනකොට පේනව සැප පහසු වාහන වලින් බැහපු නෝනල මහත්තුරු තමන්ගෙ ලමයි එක්ක සුද්දන්ගෙ බාසාවෙන් මුකුලු කර කර ඇතුලට යන හැටි.


"අපිත් ආසයි ළමයි එක්කගෙන ගිහින් දවසක් විනෝද වෙලා එන්න. ඒත් ඉතින් කන්න බොන්නම මාසෙ පඩිය ඉවරයි නෙ....." ඒක දිහාවට මොහොතකට ඇස් යොමු කරපු රියදුරු මහත්තය ලඟ හිටපු කෙනෙක්ට කිව්ව. මොහොතකට විතරයි. ඒ දිහා බලන් ඉන්නවත් එයාට වෙලාවක් නෑ. ජීවිත රැසක වගකීම අරගෙන එයා තමන්ගෙ මාසෙ පඩිය රැක ගන්න වෙහෙසෙනව.


මේ කතාව අහනකොට මම පොඩි එකෙක්. 8 පන්තියෙ හරි 9 පන්තියෙ හරි වගේ තමයි මතක. එදා මං ඒ කතාව නිකන් අහගෙන හිටිය විතරයි. ඒත් දැන් මට ටිකක් තේරෙනව. හැම තාත්ත කෙනෙක්ම කැමති තමන්ගෙ දරුවො සතුටින් තියන්න. දරුවන්ව ඒ වගෙ තැන් වලට එක්ක යන්න. ඒත් ඒ පිය සෙනෙහස සල්ලි හමුවේ යටපත් වෙලා. ආදරේ තිබුනත් ඒක පෙන්න ගන්න බැරි වෙලා.


කඩේ තියෙන සෙල්ලම් බඩුව දිහා බලගෙන පොඩි එකා කඳුලු හලද්දි කිරිපිටි පැකට් එක දිහා බලාගෙන තමන්ගෙ තාත්ත සුසුම් හෙලන බව ඒ පොඩි එකාට තේරෙන්නෙ නෑ. මං අහල තිබුන කතාවක් තමයි තාත්තල ආදරේ පෙන්නන්නෙ නෑ කියන එක. ඇත්තටම වෙලා තියෙන්නෙ, තාත්තලාට ආදරේ පෙන්නන්න දෙන්නෙ නෑ. සල්ලි ඒක පාලනය කරනව.


සල්ලි නරක නෑ. භාණ්ඩ හුවමාරු ක්‍රමයට වඩා මුදල් ගනු දෙනු ක්‍රමය ගොඩක් හොඳයි. අපි වගේ දියුණු ජාතියකට ඒක ඕනි. ඒත් සතුට, සෙනෙහස, ආදරය, මනුස්සකම වගේ දේවල් නම් සල්ලි වලට යට කරන්න හොඳ නෑ. කවදාවත්ම.................... 

2 comments:

  1. //. ඒත් සතුට, සෙනෙහස, ආදරය, මනුස්සකම වගේ දේවල් නම් සල්ලි වලට යට කරන්න හොඳ නෑ. කවදාවත්ම.................... //
    +++++++
    අද වෙනකොට නම් ලේ වල ඝනකමට වඩා මුදල් ඉස්සර වෙන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්
      ඇත්ත නංගි. අපේ මනුස්ස ගති දැන් ටික ටික සල්ලි සලින් වැහිල යනව

      Delete

ස්තුතියි කියෙව්වට......
හිතට එන දේ කියල යන්න. මේ ඉඩ ඔයාලට..........