Saturday, November 24, 2012

බල්ලගෙ පාඩම.




මං සාමාන්‍යයෙන් රැල්ලට යනව අඩුයි. කාලෙන් කාලෙට එන එක එක fashion එහෙම ඉතින් මට වැඩිය එන්නෙ නෑ. ඔය කොන්ඩෙ වටෙන් අඩු කරන ඒව, පිටිපස්සෙන් ඉතුරු කරන ඒව එහෙමත් මට නම් ආවෙ නෑ. මං ඩෙනිමක් ඇන්දත් ඒක චාම් එකක්. ඔය ටී ෂර්ට්, ෂර්ට් වගේ ඒවත් එහෙම තමයි. විසිතුරු කැටයම්, මෝස්තර තියෙන ඇඳුම් මං ගාව ඇත්තෙම නැති ගානයි. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනව. එකක් තමයි මං එහෙම fashion කරන්න ආස නෑ. අනිත් එක තමයි මාසෙන් මාසෙට වෙනස් වෙන විලාසිතා ලෝකෙ මාසෙන් මාසෙට ඇඳුම් ගන්න තරම් ලොකු සල්ලියක් අපේ අම්මයි තාත්තයි හම්බ කරන්නෙත් නෑ.

මගේ වයසෙ ගොඩක් අය මේ වෙනකොට එලියට බහින්නෙ ජැන්ඩියට ඇඳල සපත්තු දෙකක් එහෙමත් දාල තමයි. මගේ සරළ ඇඳුම් පැලඳුම් රටාවෙ අගේ කොච්චරද කියනව නම් මේ ලඟක් වෙනකං මට සපත්තු දෙකක් වත් තිබුනෙ නෑ. ඔන්න ඉතින් චුට්ට චුට්ට මටත් ඔය සපත්තු උණ එන්න පටන් ගත්ත. මට යාලුවෙකුත් කිව්ව සපත්තු දෙකක් දැම්ම නම් ලස්සනයි කියල. ගෑණු ළමයෙක් මෙහෙම කිව්වම ඉතින් සපත්තු නොදා පුළුවන් යැ. මාත් ඉතින් හීන් සැරේ අම්මට අදහසක් ඉදිරිපත් කළා සපත්තු දෙකක් ගන්න. වාසනාවට පලවෙනි යෝජනාවම සම්මතයි. සල්ලි පාස් උනා.

ෂඃ.. දැන් ඉතින් මාත් සපත්තු දෙකක හිමිකරුවෙක්. දවස් දෙකක් තුනක් මං මේක දාගෙන ගමන් බිමන් එහෙමත් ගියා. අර යාලුව කියල තියෙන්නෙ බොරු නෙවෙයි. ඇත්තටම සපත්තු දෙක දැම්මම පොඩි ගතියක් තියෙනව. දන්නවනෙ ඉතින් අලුතින් කොයික ගත්තත් කීප දවසක් යනකං හිතට අමුතු හැඟීමක් තියෙනවනෙ. අලුත් සපත්තු කුට්ටම නිසා මටත් මේ හැඟීම උපරිමේටම දැනිලයි තිබුනෙ. ඕක දාපු දවසට හීන් සැරේ කකුල් දෙක දිහා බලනව හොරෙන්. අප්පේ.... දැක්කත් සනීපයි අලුත් සපත්තු දෙක.

ඔන්න දැන් මගෙ සපත්තු දෙක දවස් හතරක් දාලයි තියෙන්නෙ. පාවිච්චිය හොඳ වෙන්න නම් ඉතින් හොඳ නඩත්තුවකුත් තියෙන්න එපායැ. ඒ උනාට ඉතින් මේ සපත්තු දෙක හෝදන්න හොඳයිද නැද්ද කියලවත් මං දන්නෙ නෑ. පලවෙනි සපත්තු දෙකනෙ. අත්දැකීම් නෑ සපත්තු පාවිච්චිය පිළිබඳව. හීන් සැරේ යාලුවෙක් ගෙන් අහල බැලුව මේව හේදුවට කමක් නැද්ද කියල.

හරි... කමක් නෑ ලු. පැය බාගයක් විතර අරගෙන හොඳට හේදුව අලුත් සපත්තු දෙක. දැන් ඉතින් මේක ගිනි අව්වෙ වේලගන්න ඕනි. ගෙදර තිබුනු හොඳ පුටුවක් ගත්ත එලියට. පොඩ්ඩක් පිහිදැම්ම. නැත්තම් පුටුවෙ තියෙන කුණු ගෑවෙනවනෙ සපත්තු දෙකේ. හොඳට අව්ව වැටෙන තැනකින් පුටුව තියල ඒක උඩින් සපත්තු දෙක තියල මං ගියා මගෙ අනිත් වැඩ වලට.

වෙන වැඩක් කරන්න කියල ගියාට මොකද, සපත්තු දෙක එලියෙ  තියෙනකං මගෙ සිහියත් එලියෙම තමයි. ඉතින් බොහොම අමාරුවෙන් ටික වෙලාවක් එක තැන ඉඳන් වැඩ කරල ටක් ගාල එලියට ගියේ සපත්තු දෙකේ තත්වෙ කොහොමද කියල බලන්න. ලස්සනට වේලුන මගෙ අලුත් සපත්තු දෙක දකින බලාපොරොත්තුවෙන් එලියට ගිය මාව ඒ වෙලාවෙ දැකපු දෙයින් නම් ගල් ගැහිල ගියා.

මගේ අලුත්ම සපත්තු කුට්ටමෙන් එකක් කොහේදෝ ඉඳන් ආපු බලු නට්ටෙක් හප හපා ඉන්නවා.  අපේ බසින් කියනව නම් ඒකා මගෙ සපත්තුව bite එකට අරගෙන. හිතා ගන්න පුලුවන්නේ මට ඒ වෙලාවෙ ඇති වෙච්ච හැඟීම. මට ඒ බල්ලා එක්ක ඇති උනේ පුදුම තරහක්. මං පුලුවන් තරම් වේගෙන් එතනට දුවගෙන ගියා. මං එනවා දැකල බල්ලා අහකට දිව්වත් සපත්තුවේ තැන් දෙකක් විතර ඒකා කාලා. අනේ මගෙ අලුත්ම සපත්තු දෙක.

දැන් ඉතින් ඒක අලුත් සපත්තු දෙක නෙවෙයි, බල්ල කාපු සපත්තු දෙක. එහෙමයි කියල මේක විසි කරන්න පුලුවන් යෑ. කාටද ඔච්චර සල්ලි තියෙන්නෙ. මම ඉතින් මේ දෙක තාමත් දානව. බල්ල කාපු තැන කලිසමට වැහුනම එච්චර ගානකුත් නෑ ඉතින්. හැබයි ඉස්සර තරම් සපත්තු දෙක ගැන අසාවක් නම් දැන් මට නෑ. ඒ වගේම ඉස්සර තරම් දුකකුත් නෑ පලුද්ද ගැන.

මේකෙන් මං දෙයක් ඉගෙන ගත්ත. කිසිම දේකට ගොඩක් ආස වෙන්න හොඳ නෑ. අසාව උනත් ගානකට තිබුනම ඇති. මොකද ආසාව තියෙනකං විතරයි මට සපත්තු දෙක ගැන දුක හිතුනෙ. දැන් ගානක් නෑ නේ. 

ආහ්ඃ තව දෙයක්. මං දැන් සපත්තු වේලන්නෙ වහලෙ උඩ තියල. බල්ලන්ට කන්න බෑ එතකොට.