Friday, October 5, 2012

සෙනෙහසට මිලක්.


            


තමන්ට මල්ලි කෙනෙක් හිටිය නම් මොකද කරන්නෙ ඌ ගැන හොයල බලනව නේද කවුරුත් කැමති වෙයි ඌ සල්ලිකාරයො එක්ක ඉන්නව නම්. සල්ලි නැති එකා පොඩි මිනිහා. කව්ද කැමති පොඩි මිනිස්සු ආශ්‍රය කරන්න. ඔහොමනෙ දැන් උදවිය හිතන්නෙ. 


දෙවියොත් කැමති ඇති තමන්ගෙ මල්ලි එහෙම ඉන්නව දකින්න. ඒකනෙ සල්ලි ලොකු මිනිස්සු ලඟම තියෙන්නෙ. අපේම කරුමෙට තමයි සල්ලි දෙයියන්ගෙ මල්ලි උනේ. අනේ මගෙ මල්ලි උනා නම් මං යවන්නෙම පොඩි එවුන් ලඟට.


මට මතක් උනා ඉස්කෝලෙ යන කාලෙ බස් එකක යනකොට ඇහිච්ච කතා බහක්. අනුන්ගෙ කතා බහ හොරෙන් අහගෙන හිටිය එහෙම නෙවෙයි. බස් එකේ රියදුරු මහත්තය ශබ්ද නගා කරපු පිලිසඳරක කොටසක්. තනියම යනකොට පාලුයි නේ.


මේ ඉරිදා දවසක්. පහුවදා ඉස්කෝලෙ නිසා මම hostel එකට යනවා. Warden නම් නිගමනය කරල තිබුනෙ තනියම යන්න අපි පොඩි වැඩි කියල. ඒත් ඉතින් අපි කියන දේ අහන හොඳ ළමයි කියල වැරදි නිගමනයකුත් එයා කරල තිබුන. මොකද මම නම් ගියේ තනියම.


ඒක C.T.B. බස් එකක්. පොඩි එකා නිසා මාත් ඉස්සරහින්ම හිටියා. අපි යන පාරෙදි පහු වෙනවා කලුඅග්ගල කියල ගමක්. අන්න එහෙ තමයි අර ප්‍රසිද්ධ ජල ක්‍රීඩා උයන තියෙන්නෙ. Leisure World Water Park එක. පාර අයිනෙ තියෙන නිසා බස් එකේ යනකොට පේනව සැප පහසු වාහන වලින් බැහපු නෝනල මහත්තුරු තමන්ගෙ ලමයි එක්ක සුද්දන්ගෙ බාසාවෙන් මුකුලු කර කර ඇතුලට යන හැටි.


"අපිත් ආසයි ළමයි එක්කගෙන ගිහින් දවසක් විනෝද වෙලා එන්න. ඒත් ඉතින් කන්න බොන්නම මාසෙ පඩිය ඉවරයි නෙ....." ඒක දිහාවට මොහොතකට ඇස් යොමු කරපු රියදුරු මහත්තය ලඟ හිටපු කෙනෙක්ට කිව්ව. මොහොතකට විතරයි. ඒ දිහා බලන් ඉන්නවත් එයාට වෙලාවක් නෑ. ජීවිත රැසක වගකීම අරගෙන එයා තමන්ගෙ මාසෙ පඩිය රැක ගන්න වෙහෙසෙනව.


මේ කතාව අහනකොට මම පොඩි එකෙක්. 8 පන්තියෙ හරි 9 පන්තියෙ හරි වගේ තමයි මතක. එදා මං ඒ කතාව නිකන් අහගෙන හිටිය විතරයි. ඒත් දැන් මට ටිකක් තේරෙනව. හැම තාත්ත කෙනෙක්ම කැමති තමන්ගෙ දරුවො සතුටින් තියන්න. දරුවන්ව ඒ වගෙ තැන් වලට එක්ක යන්න. ඒත් ඒ පිය සෙනෙහස සල්ලි හමුවේ යටපත් වෙලා. ආදරේ තිබුනත් ඒක පෙන්න ගන්න බැරි වෙලා.


කඩේ තියෙන සෙල්ලම් බඩුව දිහා බලගෙන පොඩි එකා කඳුලු හලද්දි කිරිපිටි පැකට් එක දිහා බලාගෙන තමන්ගෙ තාත්ත සුසුම් හෙලන බව ඒ පොඩි එකාට තේරෙන්නෙ නෑ. මං අහල තිබුන කතාවක් තමයි තාත්තල ආදරේ පෙන්නන්නෙ නෑ කියන එක. ඇත්තටම වෙලා තියෙන්නෙ, තාත්තලාට ආදරේ පෙන්නන්න දෙන්නෙ නෑ. සල්ලි ඒක පාලනය කරනව.


සල්ලි නරක නෑ. භාණ්ඩ හුවමාරු ක්‍රමයට වඩා මුදල් ගනු දෙනු ක්‍රමය ගොඩක් හොඳයි. අපි වගේ දියුණු ජාතියකට ඒක ඕනි. ඒත් සතුට, සෙනෙහස, ආදරය, මනුස්සකම වගේ දේවල් නම් සල්ලි වලට යට කරන්න හොඳ නෑ. කවදාවත්ම.................... 

Saturday, September 22, 2012

තල්ලු කරන් පුතුනේ.






කැරකෙන රෝදේ...පුන්චි කරත්තේ...ඉඳගෙන මම ඉන්නේ.................
පදික වේදිකා...පසු කර යන්නට...තල්ලු කරන් පුතුනේ................
තල්ලු කරන් පුතුනේ................


පරිගනකයෙන් ඇහෙන මේ සින්දුවත් එක්ක මම පොඩ්ඩක් අතීතයට ගියා. අපි උසස් පෙල ඉවර කරලා නිකන් ඉන්න බැරුවට ඉංග්‍රීසි පන්තියකට ගිය කාලෙට. දවසක් හවස අපි පන්ති ඉවර වෙලා මොනව හරි කන්න කියල හිතාගෙන ටවුමට යනව. මහ පාර අයිනෙන්. එක පාරටම අපිත් එක්ක ගිය නංගි කෙනෙක් "අන්න ඔයාලට කතා කරනව..." කියල කිව්ව.


මාත් ටක් ගාල බැලුව. අර ආබාධිත අය යන අතින් පදින රෝද තුනේ සයිකලේක යන එක්කෙනෙක් අපිට කතා කරනව. මම නම් හිතුවෙ සල්ලි ඉල්ලන්න කියල. මොනව උනත් කතා කලාම අහක බලාගෙන යන්න බෑනෙ. මායි තව කොල්ලෙකුයි එතනට ගියා. "පොඩි තල්ලුවක් දෙනවද...?" කාරුණික ඉල්ලීමක්. අහක දාන්න බෑ. එතන පාරෙ පොඩි කන්දකුත් තියෙනව. ඉතින් මමයි යාලුවයි මේක තල්ලු කරන්න පටන් ගත්ත.


"බස් එකක් නැවැත්තුවනෙ ඉස්සරහින්... ඉතින් ආපු වේගෙ නැවතුනා.... කන්ද නිසා දැන් යන්න අමරුයි...." අපිත් සද්ද නැතුව තල්ලු කලා කන්ද උඩටම. "හරි... දැන් මට ගිය හැකි....යන්නම්...." එහෙම කියපු ඒ මනුස්සයා යන්න ගියා. 


කව්රු හරි අත දාන්න ඇති. "අතට එන කීය හරි නැති කරගෙන කොහොමද......" බස් එකත් නවතින්න ඇති. ආයිත් සැර දාගෙන යන්න ඇති. සමහර විට කකුල් පණ නැතුව දෑතෙ හයියෙන් ජීවිතේ ගෙනියන මේ මනුස්සයගෙ පුන්චි සයිකලේ බස් එකට පේන්නත් නැතුව ඇති. හොඳ වෙලාවට අපි එතන හිටියා. අනේ අපිත් නොහිටිය නම් ඒ මනුස්සය ගෙදර යන්නෙ කොහොමද......අපිට නොපෙනි මෙහෙම දේවල් කොච්චර වෙනවත් ඇද්ද.... මේ වගේ සිතුවිලි ගොඩක් එක්ක අපි ආයිත් අපෙ ගමන පටන් ගත්තා.


අම්මා මග ඇති...නෙත් අරවාගෙන...තල්ලු කරන් පුතුනේ...............
තල්ලු කරන් පුතුනේ...............


සින්දුවත් ඉවරයි.


Monday, September 17, 2012

ඉතින් අවසරයි.









අපිට හැමදාම ජීවත් වෙන්න බෑනෙ. හැමදේම කරන්නත් බෑ. හැබැයි මේ ඉන්න චුට්ටෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා...." කියලනෙ අර සින්දුවෙත් කියන්නෙ. ඉතින් මාත් අත ගැහුව අලුත් වැඩකට. අලුත් කිව්වෙ මට අලුත් වැඩකට. හිතේ කොනක තිබුන ආසාවක් මුදුන්පත් වෙන්නයි යන්නෙ.

ඒ තමයි මටම කියල බ්ලොග් එකක් හදන එක. ඔන්න වැඩේ හරි. දැන් මම බ්ලොග් හිමිකරුවෙක්. කාලෙක ඉඳන් හිතේ තිබුනු දෙයක් තමයි අනේ මටත් ලියන්න පුලුවන් නම් කියන එක. ඔන්න ඉතින් දැන් බලන්න යන්නෙ පුලුවන්ද කියල තමයි.

මට බ්ලොග් කීපයක links එවල මාව කියවන්න ඇබ්බහි කරපු නංගි කෙනෙක්ට මුලින්ම ස්තුති කරන්න ඕනි. එයා තමයි මුලින්ම කිව්වෙ මටත් බ්ලොග් එකක් පටන් ගන්න කියල. මට බ්ලොග් එකක් ලියන්න ආස වෙන්න බලපාපු බ්ලොග් කීපයකුත් තියෙනව. බ්ලොග් ලෝකයේ ප්‍රවීණයො ලියපුව. එයලටත් ස්තුතිවන්ත වෙනව. මට යාලුවො කීප දෙනෙකුත් කිව්ව බ්ලොග් එකක් ලියන්න කියල. එයාලටත් ස්තුතියි.

කොහේ ගියත් මමයි රජා වගේ තනියම වැඩ කරන්න බෑනෙ. ගරු කලයුත්තන්ට ගරු කරන්න ඕනි. ඉතින් බ්ලොග් ලෝකයේ ප්‍රවීණයිනි. අවසරයි මටත් අත්හදා බලන්නට මාව ම.